Monday, March 15, 2010

අපි සාඩම්බර බ්ලොග්කාරියන් වෙමු .......!

මේ ස්ත්‍රී මාසයයි.මගේ අයියා කියන විදිහට නම් ස්ත්‍රීන්ට වෙනම මාසයක් තියෙන්නෙ අනික් මාස ඔක්කොම පිරිමින්ගෙ නිසාලු. අපි ගෑණු කියලා අපිට ස්වාධීනව කාලා ඇඳලා ජීවත් වෙන්න පුළුවන් කියලා පෙන්නන්න ඕනි තරම් උදාහරණ අපි වටේ පිටේ ඕනි තරම්. අයියා මේක කිව්වෙ විහිළුවට වුනාට ඇත්තටම එ‍හෙම හිතන අයත් නැතුව නෙමෙයි එයාලට ඉතිං කියන්න තියෙන්නෙ එයාලා තාම ගෑණු කියන්නෙ කවුද කියලා හරියට අඳුනගෙන නෑ කියලා විතරයි.

ඉතිං ස්ත්‍රී මාසයේ සටහන විදිහට මම අපේ එඩිතර කාන්තාවන් ලියන මේ බ්ලොග් ටික එකතු කරන්න හිතුනා.
  1. මලී අක්කා ගේ ඇබ්නෝමල් මයින්ඩ්ස්
  2. ෆා අක්කා ගේ බ්ලොගීගේ ඩයරිය
  3. මධු අක්කාගේ මධූගේ දිනපොත
  4. ඉල් අක්කාගේ Il Mondo di Una Povera Pazza
  5. සිතූ අක්කාගේ සිතූගේ සිතුවිලි
  6. දිල්මීණි අක්කාගේ අහස් වියන
  7. පුෂ්පා නැන්දාගේ පුලින තලාව
  8. ඩීප් අක්කාගේ DeepS ගේ අනං මනං ලෝකය
  9. නෙරංජි අක්කාගේ රෝස වලාකුළු 
  10. සූ අක්කාගේ හද බිඳි සර
මම බ්ලොග් ලිවිල්ල පටන් ගන්න කොට බැලුවේ තව කාන්තාවන් කී දෙනෙක් බ්ලොග් ලියනවද කියලා. ඉතිං මට හමුවුනේ මේ අය. ඉතිං මගේ ලිවීම පටන් ගන්නෙ මේ අය හින්දා කිව්වොත් ඒකෙ වැරැද්දක් නෑ.  ඒක හින්දා මේ ස්ත්‍රී මාසයේ මම මේ ‍පෙරගමන්කාරියන්ට ස්තූතියක් ලබාදෙන්න ඕනි. අවාසනාවට මම සියළු බ්ලොග්කාරියන් අඳුනන්නේ නම් නෑ. ඉතිං උදව්වක් විදිහට තව දන්න බ්ලොග් කාරියන් ඉන්නවනම් එයාගෙ නමයි, බ්ලොග් එකේ නමයි ඇඩ්‍රස් එකයි දාලා යන්න. මේ අතරට මට අහුනොවුනු තවත් බ්ලොග් කිහිපයක් තියෙනවා මේ ගැන කියපු හැමෝටම මගේ ස්තූතිය.
   11. අසංකා අක්කගෙ හිතුවක්කාරිගේ සිත් යාය... 
   12. දිල්ගේ අක්කාගෙ අතීතයෙන් අහුලන මතකයන්
   13. චේජනා අක්කගේ චේජනාගේ පිටුව
   14. විශ්මි අක්කත් ලියන සිහින සෙවණැලි
   15. රන්දිල් අක්කගේ නිදහස් සිතුවිලි
   16. ජයනි අක්කගෙ වැහි කිරිල්ලි
   17. ජීවිතේමල්ගෙ සංසාරේ අපි.. 
   18. නිමන්ති අක්කගෙ  මන්දාකිණිය…
   19. සමනලී අක්කගෙ සමනලීට හිතෙන හැටි…….
   20. හිපෝගෙ  VOicE of a HiPo...

      අපි සාඩම්බර බ්ලොග්කාරියන් වෙමු .......!

Wednesday, February 17, 2010

ජීවිතේ තියෙන්නෙ අහවල් එකකටද...?

ජීවිතේ තියෙන්නෙ 
සතුටු වෙන්න නම්
දුක තියෙන්නෙ 
විදින්න නෙමෙයිද.....?

ජීවිතේ තියෙන්නෙ 
හිනා වෙලා ඉන්න නම්
කඳුල තියෙන්නෙ 
මක් කරන්නද.....?

ජීවිතේ තියෙන්නෙ 
හිමිවීම් විතරක් නම්
අහිමිවීම කියන්නෙ 
මොකකටද.....?

ජීවිතේ තියෙන්නෙ 
ජීවත් වෙන්න නම්
මරණය තියෙන්නෙ 
අහවල් එකකටද...?

Thursday, February 11, 2010

ජීවිතය කියන්නෙ හීනයක්..........!

තප්පර විස්සක් ඇතුලෙ අපි අපිවම හොයන හීනය කියන්නෙ වෙලාවකට ජීවිතයද මන්ද..
සමහර වෙලාවට ඇහැරුනාම මම මගේ අත කොනිත්තලා බලන්නෙ මම තාමත් ඒ හීනයෙ ඇතුලෙ ජීවත්වෙලා ඉන්න නිසා කියලා කිව්වොත් වැරැද්දක් නෑ.
                             තාත්තා හීනයක් වගේ මගේ ජීවිතේට ඇවිත් මම ඇහැරෙනකොට මාව දාලා යන්න ගිහින්. හැමදාම හවසට ජීප් එකෙන් බහින තාත්තාව මට ඒකාලෙ පෙනුනෙ සද්දන්ත යෝධයෙක් වගේ. මම ඒ ගාම්භීරත්වයට ආසාකලා. මම හැමදාම තාත්තා එනකල් මග බලාගෙන හිටියෙ තාත්ත අම්මට ගේන පුහුල් දෝසිවත්, මට ගේන ජු‍ජුප්ස් ටිකවත් කන එකට වඩා අපේ තාත්තා ජීප් එකෙන් බහින හැටි බලන්න කිව්වොත් හරි.
                        එකදවසක් රෑ තාත්තා හදිස්සියෙම ගෙදරින් පිටත්වුනා. ඒ ගිහින් තාත්තා ආපහු එනකොට තාත්තට හොඳටම නින්ද ගිහින්, තාත්තට දිග හීනයක් පෙනිලද කොහෙද, ඒ හීනෙ ලස්සන හින්දද කොහෙද, තාත්තට ඇහැරුනේ නෑ. තාත්තගෙ අත කෙනිත්තුවත් තාත්තට ඇහැරුනේ නැත්තෙ මම ඉන්න ලෝකෙට වැඩිය ඒ ලෝකෙ ලස්සන හින්ද වෙන්න ඇති.
                       දැන් තාත්ත ගැන ලොකු මතකයක් මගේ හිතේ ඉතුරු වෙලා නෑ. ඒත් මට තාම අඩි හයක් උස යෝධයෙක් වගේ ජීප් එකෙන් බහින තාත්තගෙ රූපය මට තාම මතකයි. ඒක මට ජීවිතේටම අමතක වෙන එකකුත් නෑ. ඒක හරියට නිකං හීනයක් වගේ. ඒත් ඒ හීනෙට මම තාමත් ආදරෙයි. මගේ ජීවිතේ පුරාම මම ඒ හීනෙ ඇතුලෙ ජීවත් වෙයි.

                     ඒකයි කියන්නෙ ජීවිතය කියන්නෙ හීනයක්......