Wednesday, February 17, 2010

ජීවිතේ තියෙන්නෙ අහවල් එකකටද...?

ජීවිතේ තියෙන්නෙ 
සතුටු වෙන්න නම්
දුක තියෙන්නෙ 
විදින්න නෙමෙයිද.....?

ජීවිතේ තියෙන්නෙ 
හිනා වෙලා ඉන්න නම්
කඳුල තියෙන්නෙ 
මක් කරන්නද.....?

ජීවිතේ තියෙන්නෙ 
හිමිවීම් විතරක් නම්
අහිමිවීම කියන්නෙ 
මොකකටද.....?

ජීවිතේ තියෙන්නෙ 
ජීවත් වෙන්න නම්
මරණය තියෙන්නෙ 
අහවල් එකකටද...?

Thursday, February 11, 2010

ජීවිතය කියන්නෙ හීනයක්..........!

තප්පර විස්සක් ඇතුලෙ අපි අපිවම හොයන හීනය කියන්නෙ වෙලාවකට ජීවිතයද මන්ද..
සමහර වෙලාවට ඇහැරුනාම මම මගේ අත කොනිත්තලා බලන්නෙ මම තාමත් ඒ හීනයෙ ඇතුලෙ ජීවත්වෙලා ඉන්න නිසා කියලා කිව්වොත් වැරැද්දක් නෑ.
                             තාත්තා හීනයක් වගේ මගේ ජීවිතේට ඇවිත් මම ඇහැරෙනකොට මාව දාලා යන්න ගිහින්. හැමදාම හවසට ජීප් එකෙන් බහින තාත්තාව මට ඒකාලෙ පෙනුනෙ සද්දන්ත යෝධයෙක් වගේ. මම ඒ ගාම්භීරත්වයට ආසාකලා. මම හැමදාම තාත්තා එනකල් මග බලාගෙන හිටියෙ තාත්ත අම්මට ගේන පුහුල් දෝසිවත්, මට ගේන ජු‍ජුප්ස් ටිකවත් කන එකට වඩා අපේ තාත්තා ජීප් එකෙන් බහින හැටි බලන්න කිව්වොත් හරි.
                        එකදවසක් රෑ තාත්තා හදිස්සියෙම ගෙදරින් පිටත්වුනා. ඒ ගිහින් තාත්තා ආපහු එනකොට තාත්තට හොඳටම නින්ද ගිහින්, තාත්තට දිග හීනයක් පෙනිලද කොහෙද, ඒ හීනෙ ලස්සන හින්දද කොහෙද, තාත්තට ඇහැරුනේ නෑ. තාත්තගෙ අත කෙනිත්තුවත් තාත්තට ඇහැරුනේ නැත්තෙ මම ඉන්න ලෝකෙට වැඩිය ඒ ලෝකෙ ලස්සන හින්ද වෙන්න ඇති.
                       දැන් තාත්ත ගැන ලොකු මතකයක් මගේ හිතේ ඉතුරු වෙලා නෑ. ඒත් මට තාම අඩි හයක් උස යෝධයෙක් වගේ ජීප් එකෙන් බහින තාත්තගෙ රූපය මට තාම මතකයි. ඒක මට ජීවිතේටම අමතක වෙන එකකුත් නෑ. ඒක හරියට නිකං හීනයක් වගේ. ඒත් ඒ හීනෙට මම තාමත් ආදරෙයි. මගේ ජීවිතේ පුරාම මම ඒ හීනෙ ඇතුලෙ ජීවත් වෙයි.

                     ඒකයි කියන්නෙ ජීවිතය කියන්නෙ හීනයක්......

Tuesday, February 9, 2010

කුරුළු කූඩුව




ගලක් ගසනතුරු
ඉහිරෙන්නට
බලාසිටි
කුරුළුකූඩුව

Wednesday, February 3, 2010

බ්ලයින්ඩ් කපල් එක

"අර දෙන්නා පේනවද?"
අයියා ඇහුවෙ එහා බංකුවක ඉන්න කපල් එකකට අත දික් කරන ගමන්
"අනේ පව්"
"පව් කියන්නෙ මොකද"
"ඉතිං එයාලගෙ ඇස් පේන්නෙ නෑනෙ"

අයියා හයියෙන් හිනා වෙන්න ගත්තා. මට කේන්ති යන්නෙ අයියගෙ ඔය විකාර වැඩ වලට තමයි. මේ ලෝකෙ තේරුමක් නැති දේවල්වලට හිනා වෙනවා.

"තමුසෙලාගෙ ඉස්කෝලෙ පොත්වල මේවා උගන්නන්නෙ නෑ ඒත් ඉතිං මොලේ තියෙන එකේ කල්පනා කරලා බලනවා"

"මම දන්නෙ නෑ මම නම් සාමාන්‍යයෙන් කෙල්ලෙක්ගෙන් කැමතිද කියල අහන්නෙ එයා ලස්සනනම් තමයි බලනව තමුසෙගෙ යාළුවො වුනත් මම වගේ හැන්ඩියෙක්ට මැරෙන්න හදන්නෙ වචනයක්වත් කතා කරල නෙමෙයිනෙ"
"අනේ තමුසෙගෙ ලස්සන පිස්සා"
අයියා උස හින්දත් සුදු හින්දත් පොඩි ලස්සනකුත් නැතුව නෙමෙයි. අපරාදෙ ටිකක් ඇඟපතවත් තිබුනනම්.  අපරාදේ...............

"දැන් බලනව මේ බිලයින්ඩ් කපල් එක සෙට් වෙන්න ඇත්තෙ කොහොමද. තමුසෙ මට කොණ්ඩෙ කපන්න රැවුල කපන්න පිලිවෙලට ඉන්න කියනව නේද?  ඒ මදිවට තමුසෙ මගේ ඇඳුමුත් හෝදනව. සහෝදර ප්‍රේමය තියෙන්නෙ රැවුලෙද , කොණ්ඩෙද, නැත්නම් මගේ ඇඳුමෙද ? තමුසෙගෙ යාළුවො හම්බවෙන්න එනකොට නම් පිලිවෙලට එන්නෙ ඔය කෙල්ලො තමුසෙට කෝචොක් එක දාන හින්ද. මොනා වුනත් තමුසෙ මගේ නංගිනෙ"

මම අයියා දිහා බැලුවා. අයියො දෙවියො මාවත් ටිකක් උස කලා නම් මේකාගෙ මූණ බලන්න බෙල්ල උළුක් කරගන්න වෙනවනෙ.

"යනව යනව නැත්නම් මට අම්මගෙන් බැණුම් තමුසෙට නාඩගම් පෙන්නනවා කියලා"
 ගෙදර ඇවිදින් වොෂ් එකක් දාගෙන ඇඳේ ඇලවුනා. ඇත්තටම ඒ කපල් එක යාළු වෙන්න හේතුව මොකක් වෙන්න ඇතිද..?

Tuesday, February 2, 2010

විශ්ව ගම්මානයේ අපි.


සයිබර් සාන්තුවරයින්
ඔන්ලයින් ප්‍රේමවන්තයින්
වර්චුවල් පාදඩයින්
සමග
බ්‍රවුසර ටැබ් තුනක
සාහිත්‍ය, කලාව, දේශපාලනය
වයර් දිගේ
තරංග දිගේ
මොලේට ප්ලග් වෙන
විශ්ව ගම්මානයේ අපි........

Monday, February 1, 2010

පුදුම කඳුල

දුකට
සතුටට
වැටෙන
කඳුල.....